වලානේ ස්ථානාධිපති බව පවසමින් ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

වලානේ ස්ථානාධිපති බව පවසමින් ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

March 25, 2026   09:25 pm

ප්‍රදේශ කිහිපයක ව්‍යාපාරිකයන්ව WhatsApp මගින් අමතා තමන් වලාන ස්ථානාධිපති ඉන්දික වීරසිංහ ලෙස පවසමින් එම ව්‍යාපාරිකයන් බියගන්වා බලපෑම් කර මුදල් ලබාගත් පුද්ගලයෙකුව අද (25) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීණ් පිරිසක් විසින් බණ්ඩාරගම අධිවේගී මාර්‌ග පිවිසුම අසළ දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සොරකම් කිරීම, කොල්ලකෑම් හා කප්පම් ලබාගැනීම් ඇතුළු විවිධ දූෂණ චෝදනා යටතේ වරදකරු වී බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණ සිටි "තුසිත බ්‍රහ්මරත්න" නැමති පුද්ගලයා බවය.

පොලීසිය පැවසුවේ අම්බලන්ගොඩ, ගන්දර, රත්නපුර, හොරණ, පානදුර, මාරවිල, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ගැවසෙමින් ව්‍යාපාරිකයන්ව හෙලෙස රවටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ඉපයා ඇති බවය.

මෙම සැකකරු විසින්,  වලාන ස්ථානාධිපති ඉන්දික වීරසිංහ නිලධාරියාගේ නිල ඇඳුමින් සැරසුනු ඡායාරූපයක් ඔහුගේ WhatsApp ගිණුමේ ඡායාරූපයට යොදා තිබී ඇත.

ඒ අනුව එම WhatsApp ගිණුමෙන් ව්‍යාපාරිකයන් අමතා, ඔවුන් විසින් සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියා පිළිබදව සියලු තොරතුරු තමන් සතුව ඇති බවත්, ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට නම් ඔහු විසින් යොමු කරනු ලබන පුද්ගලයාට නියම කරනු ලබන මුදල් ලබාදෙන ලෙසට බිය ගන්වා මුදල් ලබාගෙන ඇත.

මීට අමතරව මෙම සැකකරු විසින්, යම් ප්‍රසිද්ධියක් උසුලන ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලාට ද WhatsApp හරහා ඇමතුම් ලබා දී පවසා ඇත්තේ සිය නැගණිය එංගලන්තයේ පදිංචිව සිටින බවත්, ඇයට දානමය පුන්‍ය කර්‌මයක් සිදුකිරීමට අවශ්‍ය බවය.

ඒ අනුව, අවශ්‍ය මුදල් ලබාදීමට ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාගේ බැංකු ගිණුම් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ මුදල් ලබාගැනීම සඳහා භාවිතා කරන ජංගම දුරකථන යෙදවුම (App) ආදී සියළු තොරතුරු සැකකරු විසින් ලබාගෙන ඇත.

පසුව එම ගිණුම්වලට මුදල් යොමු කරන බව හඟවමින් අන්තර්ජාලය හරහා ගිණුම්වලට ඇතුළු වී එහි රහස්‍ය අංකය (OTP) ලබා ගනිමින් එම ගිණුම්වල ඇති මුදල් ඔහුගේ ක්‍රිප්ටො කරන්සි හරහා ඔහුගේ 'VOLAT' ගිණුම වෙත බැරකර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි අනුව අධිකරණයට කරුණු වාර්තා කර විර්මශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහයන නිලධාරීන් විසින් සකස් කරන ලද සැළසුමකට අනුව මෙම විර්මශනය වලාන මධ්‍යම දූෂණ මදන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්‍ෂක චතුරංග මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.

ඒ අනුව, අද දිනයේ දී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී  සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 620 ක ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.